Friday, May 3, 2013

හදවත නැතිවීම



"නමුත් කවරෙකු විසින් හෝ කුමන හේතුවක් නිසා හෝ පුද්ගලයින් එකසිය පනස් හතර දෙනෙකුට නිදහසේ මිය යාමට ඇති අයිතිය උදුරාගෙන ඇති බව මගේ වෘත්තිය සීමාවෙන් ඔබ්බෙහි සිට කල්පනා කරනා විට මගේ හදවතට දැනෙමින් තිබේ"

කැළණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේවයන් එසේ පවසන්නේ පසුගියදා හමු වූ මාතලේ සමූහ මිනීවල පිලිබඳ තම වාර්තාවෙහිය.

ඔහුගේ හදවතට දැනුනු එම දෙය ලාංකීය සමාජයේ හදවතට දැනෙන බවක් පෙනෙන්නට නැත.

අහම්බයකින් මෙන් මේ මිනීවල හමු වූ මොහොතේ පටන් එය පිළිබඳව නොයෙක් දුර්මත පතුරුවාලීමට බොහෝ දෙනා, විශේෂයෙන්ම ජාතික තලයේ පුවත්පත් හා අනෙකුත් මාධ්‍ය බොහෝ උත්සාහ දැරුවෝය.

මිනීවළේ කැණීම් පිලිබඳව අවධානයෙන් සිටි සියල්ලෝම මුල සිටම දැන සිටි සත්‍ය වූයේ එහි තිබූ සිරුරු 88-89 භීෂණ සමයට අයත් ඒවා බවයි.තියුණු ආයුධවලින් කපා වෙන් කළ හිස්, අත් පා සහිත අනේක වද හිංසනයන්ට භාජනය කර තිබූ එම සිරුරු ඒ බව නිහඬ නොවී කියා පාමින් සිටියෝය.

එහෙත් එම සත්‍ය වසං කිරීමට අවශ්‍ය පුද්ගලයින් නොයෙක් කතා ගෙතූහ.

මෙය 1930 ගණන් වල වසූරිය වසංගතයකින් මිය ගිය වුන්ගේ සොහොනකැයි සමහර පුවත්පත්වල පල වූ අතර එම මතය සනාථ කිරීමට  ඒකාලයේ විසුවා යැයි කියන පුද්ගලයින් සමග කළ සම්මුඛ සාකච්ඡා ද පල කලහ.
තවත් සමහරුන් කීවේ මෙය 1950 ගණන් වලදී දිය හෙණයක් නිසා මියගියවුන් වල දැමූ තැනක් බවයි.නමුත් මේ ඊනියා දියහෙණය කුමක්දැයි කවුරුත් කීවේ නැත.


එතැනින් නොනැවතුනු සමහරුන් මෙය 1848 මාතලේ කැ‍රැල්ලටත් හා ප්‍රාග් ඓතිහාසික යුගයකට පවා සම්බන්ධ කළහ.මිනිස් ඉතිහාසයේ නොයෙක් ආකාරයේ අවමගුල් චාරිත්‍ර පැවති බව සත්‍යයක් වුවද මෙසේ හිස් කපා සිරුරු මත තබා ,දෑත් දෙපා වෙනම තබා , සිරුරුවලට දසවද දී භූමි දාන කරන ක්‍රමයක් ලෝකයේ කවර කලක හෝ තිබී ඇත්දැයි අපිනම් නොදනිමු.

මාතලේ මිනීවල අයිති යුගය පිලිබඳව මෙසේ පැහැදිලි හෙලිවෙමින් තිබියදීත් මෙවන් විකාර අදහස් පැතිරවීම නිසැකවම ඉතා දැනුවත් භාවයකින් කළ දෙයක් බව නිසැකය.

ඔවුන්ගේ අරමුණ වූයේ මිනීවල පිලිබඳව ජනතාව අතර  ව්‍යාකූලත්වයක් ඇති කිරීමය.මේ මියගොස් සිටින්නේ 1988-89 යුගයේ අතුරුදන් වූවන් යැයි කිවහොත් මියගිය උන්ගේ ඥාතින් තම දුවාදරුවන්ගේ, සැමියන්ගේ , බිරියන්ගේ, සොහොයුරු සොහොයුරියන්ගේ සිරුරු කොටස් සොයා පැමිණෙතැයි බියවූවා සේය.

එහෙත් අප යුගයේ වෙසෙන ගරු කටයුතු මිනිසුන් දෙදෙනෙකු හා වචනයේ පරිසමාප්තයෙන්ම විශිෂ්ඨ වෘත්තීයවේදින් දෙදෙනෙකු වන අධිකරණ වෛද්‍ය විශේෂඥ අජිත් ජයසේන හා පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේව යන දෙදෙනා ගේ  අනගි මෙහෙවර නිසාම එකසිය පණස් හතර දෙනෙකුන්ගේ ජීවිත වසා සිටි මේ සමූහ මිනීවල අයිති 1988-89 යුගයට බව විද්‍යාත්මකව තහවුරු වී ඇත.

ඔවුන්ගේ විද්‍යාත්මක වාර්තා නිකුත් වූ පසුව පවා ලක්ෂ්මන් හුලුගල්ලේ නමැති මාධ්‍ය ප්‍රකාශකයා කියා සිටියේ එම ඇටක‍ටු අයිති කාලය හරියටම සොයා ගැනීම පිණිස කාබන් කාල නිර්ණයක් කල යුතු බවයි. එහෙත් කාබන් කාල නිර්ණයකින් කාලය නිර්ණය කල හැක්කේ ආසන්න වසර පනහකට පමණක් වෙන බව සලකන විට ඔවුන් නටන්නට හදන්නේ කුමන නාඩගමක්දැයි පැහැදිලිය.එනම් මෙම මිනීවල නැවත වතාවක් වසා දැමීමටය.


එයට ඉඩ දිය යුතුද?

වෛද්‍ය අජිත් ජයසේනත් , මහාචාර්ය රාජ් සෝමදේවත් තම වෘත්තීය වගකීම ඉ‍ටු කර තිබේ. මේ මිනීවල අයිති කාලය පිලිබඳව තිබූ සැක සංකා ඔවුන් දෙදෙනා විසින් දුරු කර ඇත.
දැන් මේ මිය ගොස් සිටින්නේ කවුද, ඔවුන් මිය ගියේ කෙසේද, ඔවුන් මරා දැමුවේ කවුරුන්ද යන ප්‍රශ්න මතුව තිබේ. ඒවාට පිලිතුරු සෙවීමට අප සූදානම්ද? අපට අවශ්‍යද?

මේ ගැන සෙවීමට ජනාධිපති කොමිසමක් පත් කරන බව ජනාධිපතිවරයා පවසා ඇත. ජනාධිපති කොමිසම් පිලිබඳ ඉතිහාසය අප දන්නා අතර , මීට ප්‍රථම පත් කරන ලද සමහර කොමිසම් වාර්තා කිසි පලකට නැති ප‍තෝල වූ අතර සමහර වාර්තා කිසි දිනක එලියට ආවේ නැත.තව සමහර වාර්තා වසර තිහ හතලිහ යටපත් කරන මෙන් එම කොමිසම් පත් කල ජනාධිපතින්ම නියෝග දී ඇත.එම නිසා ජනාධිපති කොමිසම් ගැන විශ්වාසය තබන්නේ පිස්සන් හා මෝඩයන් පමණි.

පුද්ගලයින් 154 දෙනෙකුන්ගේ ජීවත් වීමේ අයිතිය බලහත්කාරයෙන් පැහැරගෙන වල දැමූ මේ සමූහ මිනීවල පිලිබඳව ,පුලුල් හා ස්වාධීන පරීක්ෂණයක් වහාම ඉල්ලා සිටිය යුතුය. මාතලේ ප්‍රදේශයේ අතුරුදහන් වූවන්ගේ ඥාතින් සංවිධානය වෙමින් ඩී එන් ඒ පරීක්ෂණ ලබා ගෙන වල දමා සිටින්නේ කවුරුන්දැයි හඳුනා ගත යුතුය.

මේ සියල්ල නිකම් සිදු වන්නේ නැත . ඒ වෙනුවෙන් ප්‍රබල හා පුලුල් හඬක් නැගිය යුතුය. උද්ඝෝෂණය කල යුතුය. ඒ සියල්ලට   පෙර මින්සුන් 154 දෙනෙකුන්ගේ ජීවත් වීමේ අයිතිය නැති කර දමා එති බව ජනතාවගේ හදට දැනිය යුතුය.

එහෙත් ඒ බව ජනතාවගේ හදට දැනෙන දෙයක් බවට පත් වී නැත. එසේ පත් වීම වැලක්වීමට  මාධ්‍ය කටයුතු කරන අතර විපක්ෂය ඔහේ බලා සිටියි.ඉඳ හිට මාධ්‍ය සාකච්ඡාවක් තබා විසිර යයි.එපමණකි.

අනිත් අතට ගත් විට අපේ රටේ සියලු විපක්ෂ කටයුතු කරන්නේ ආණ්ඩුව හදා දෙන න්‍යාය පත්‍රයකට අනුවය. එදා වේල ට්‍රැවල්ස් මෙන් එදිනෙදා කුමක් හෝ ප්‍රශනයක් අල්ලා ගෙන එය සමග හැපේ. අලුත් ප්‍රශනයක් ආ විට පරණ ප්‍රශ්නය අතැර දමා අලුත් එක බදා ගනී.

මාතලේ සමූහ මිනීවල අයිති කාලය නිශ්චය වන විටම විදුලි බිල වැඩි වුනේ ඓතිහාසික ආකාරයකයට.  කවදාවත් නොවූ විරූ තරම් ඉහල ප්‍රතිශතයකිනි. (ආණ්ඩුව රටේම ජනයා තමන් සමග තරහ කර ගැනීමට තරම් වන මෙවන් ප්‍රතිශතයකින් විදුලි බිල ඉහල දැම්මේ මන්දැයි ගැඹුරින් සොයා බැලිය යුතුය.)

ඉන්පසු සමස්ත විපක්ෂයම විදුලි බිලේ එල්ලී ඉන්නා අතර දුමින්ද සිල්වා හාස්කමකින් නැගිට වීර කොණ්ඩයා සේ කකුල් දෙකෙන්ම ඇවිද ගෙන ගෙදර යන්නට ගියේය.  ඒ අතර වීරවංශ කොහේවත් නැති උතුරු මැතිවරණයක එල්ලී බඩ පිනුම් ගසයි.

දැන් මාතලේ සමූහ  මිනීවලක් තිබුනා දැයි  බොහෝ දෙනෙකුට  මතක  නැත.

එහෙත් එය අපූරු පාඩමක් සමාජයට කියා දී තිබේ.

එනම් අපරාධයක් කොතරම් යට ගසන්නට , වල දමන්නට තැත් කලත් කවදා හෝ  මතුව එන බවයි.








9 comments:

  1. මෙය කිසි සේත්ම අනුමත කළ හැකි දෙයක් නොවේ. එහෙත් මෙහි සිටින්නේ 88-89 කාළයේ මරාදැමූ පිරිසක් නම් ඔවුන් බහුතරය ජේවීපී දේශපාළණ සාමාජිකයින්ය. එහෙත් ජනතා විමුක්ති පෙරමුණවත් මේ ගැන කතා නොකරන්නේ ඇයි. ඔවුනට එසේ කතා කිරීමට අයිතියක් නැති බැවිනි. මන්ද ඔවුන් මරා දැමු උන් නිදන්නේ සමූහ මිනී වලවල් තුල නොව, පවුලේ සුසාන භූමියේ හෝ කනත්තේය. මේ ගැන කෑ ගසා බලයට ආ අයගෙන් අද ඉතිරිවී සිටින ගිනිදේවීයද මේ ඉතා වටිනා මිනීවල වෙනුවෙන් හඬ නොවැලපෙන්නේ. ඇයගේ ස්වාමියාට එරෙහි වීමට නොහැකි බැවිනි. මිය යන විටත් ඔවුන් අසරණයෝය. අදත් ඔවුන් අසරණයෝය. අසරණයන්ගේ ආරාමය පොළොවට සමතලා කල අයට, බලයේ සිටින තාක් මේවා සැලකිය යුතු කරුණු නොවේ. මෙතක් කලක් එජාපයට පමණක් බැර කල භීෂණයට, අනෙක් අයද ඉත සිතින් දායක වූ බව පමණක්, මේ අසරණයන් ඔප්පු කොට පෙන්නුවේය. මොන දේ කළත් මිනිසකුට මෙවැනි මරණයක් හීමි විය යුතු නැත. එය උතුරේ වේවා, දකුණේ වේවා, කඳුකරයේ වේවා කාටත් පොදුය.

    ReplyDelete
  2. එසේ මරා දැමුවේ ජවිපෙ සාමාජිකයන්ම පමනක් නොවේ. වෙනත් විපක්ෂ, විශේෂයෙන්ම ශ්‍රිලනිප අයද, ආන්ඩු පක්ෂ දේශපාලකයින්ගේ තරහ කාරයින්ද ආද් ඉ වස්ශයෙන් බොහෝ දෙනෙක් එසමයෙහි නොනිල හමුදාවලට බිලි වුනා

    ReplyDelete
  3. කලමදිරියාගෙන් හොඳ ලිපියක් කාලෙකින් ....

    ReplyDelete
  4. මේ සොහොන් තමා ලංකාවේ දේශපාලනයේ ඇත්ත හෙළිවන තැන. මේවා ගැන හොයන්න කියන්න කාටවත්ම ඕනේ කමක් නැති එකටත් වඩා, එහෙම කරන්න ඒ අයට බැහැ. විපක්ෂයේ නායකයාට ඒ යුද අපරාධ චෝදනා තියනවා, දැන් ඉන්න පාලකයන්ට තියනවා, ඒ විතරක් නොවේ තුන් වන බලවේගය මේ අපරාධ වලට කෙලින්ම සම්බන්ධ බවට චෝදනා තියනවා. මේ චෝදනා වල ඇත්ත නැත්ත ගැන අප හැම කෙනාම දන්නවනේ. ඉතින් කවුරුද මේ ඇට කටු වල හිමි කාරයන් ගැන කතා කරන්න ඉදිරියට එන්නේ?

    ReplyDelete
  5. පබා, අනර්කලීලා, දුමින්ද, මර්වින්, ජොනී.... දේශපාලන තරු කළ ජනතාවක් ද අපිට සිටිනවිට දේශපාළුවා පිණුම් ගසමින් අපිව රවටයි. මා දන්නා කියන කාල වකවානුවේ පමණක් නොව අතීතයේද සිදුවූයේ එයමයි. එබැවින් දැන්, “කවුරු ආවත් ඔය ටික තමා“ යන්න සමාජගතවී උඩුදුවා ඇත.
    71 වර්ෂයත්, 83 වර්ෂයත්, 89-90 වර්ෂත් මේ දිවයින එකම සාපලත් දේශපාලන භූමිකාවන් රඟ දක්වන ලදී. අදද එකී ක්‍රියාවලියට තිත වැටී නැත....
    “ඔබගේ බුද්ධීමත් ඡන්දය භාවිත කරන්න“ ඡන්ද කාල සීමාවකදී නිරන්තරයෙන් ඇසෙන වචනයකි....
    එකී භාවිතයේ ආදීනව අදද බහුතරයක් දන්නේ නැතුවා විය හැකියි. දන්නා අය නොදන්නවා වාගේ ද සිටී....
    එබැවින් නැවතත්, ඔබ “ඔබගේ **** ඡන්දය (සුපුරුදු එකාටම) භාවිත කරන්න“....

    ReplyDelete
  6. good post but!,

    @"එහෙත් කාබන් කාල නිර්ණයකින් කාලය නිර්ණය කල හැක්කේ ආසන්න වසර පනහකට පමණක්"
    - හොදටම ෂුවර් ද? වසර දහස් ගණනක් පැරණි දේ පිළිඹද කාළ නිර්නයට යොදාගන්නේ මේ ක්‍රමයනේ.මම දන්න විදියට මෙහිදී භාවිතා වන්නේ කාබන් වල විකිරිණශීලී සමස්ථානිකයක විකිරණ විමෝචනය (අර්ධ ජීවකාලය පිලිබඳ තියරිය).

    හොදම දේ මේ මිනී වල ගැනත් කාබන් කාළ නිර්නයක් කරන එක.ඒකෙන් යලිත් තහවුරුවෙයි මේක 1988-89 යුගයට අයිතියි කියල.

    ReplyDelete
    Replies
    1. නෑ ජයශ්‍රී. මෙතැන ආසන්න වසර 50 කියන්නේ උත්තරේ නිවරඩි කම ගැනයි උදා හරනයක් ලෙස යමක් වසර 2000 පරනයි කියලා කාබන් කාල නිර්නයෙන් කියන්කොට ඒක වසර 2050 පරන වෙන්නත් පුලුවන්, වසර 1950 පරන වෙන්නත් පුලුවන්.

      ඒක නිසා ඒ ක්‍රමය වසර දහස් ගනන් ඈත කාල නිරනයට හොඳ වුනත් , ලඟ කාල නිර්නයට , ඒ කියන්නේ වසර 50 ට අඩු ඒවාට හරි යන්නේ නෑ.

      උදා : ලෙස මාතලේ මිනීවලේ කාබන් කාල නිරනය කලොත් ඒක 1939 ද 1989 ද කියලා නිවැරදිව කියන්න බෑ.

      Delete