Sunday, July 17, 2016

හූ කියන වල





කෞශිගේ නාට්ටියකට පේරාදෙනි වලේ හූ කියපු එකට කස්ටියටම මල පැනලාය. ඕක මල පනින්න ඕනෑ දෙයක් නෙවේය. කොල්ලෝ ඕනෑ එකටයි එපා එකටයි හැම මගුලටම හූ කියනවාය. ඒකේ බයි ටොයි ජාතික චින්තන , බහු ජාතික කුමන්ත්‍රණ ආදි මොනවත් නැතය.  ඒක වලේ හැටිය.

හැබැයි අපි දන්න කාලේ නම් වලේ හූ කිව්වේ බලන් ඉන්න  බැරි වාතම වාත ෆුල් චාටර් , නාට්ටිවලටය. ඈනුම් ඇරලා ඇරලා දෙපාරක් විතර නින්දත් ගියාට පස්සේ මේ මොන මගුලක්ද මචන් දෙමු හූවක් කියලා හූ කියනවාය.

මට මතක විදියට  චෙරි උයන කියන නාට්ට්ටිය නවත්තලා අකුලන් යන කම්  , 1986 මුල හරියේ, හූ කිව්වාය. ඒක චෙකොව් ගේ කතාවක් උනත් රන්ජිත් ධර්මකීර්ති නාට්ටිය හදලා තිබුනේ  චාටර් විදියටය. ආයි නම් මෙහෙ නාට්ටිය ගේන්නේ නෑ කියා එදා රන්ජිත් මල පැනලා කිව්වේය. පස්සෙ කාලෙක එයා ආපහු ආවද කියා මතක නැතිය.

ඔහොම හූ කියලා එලවගත්ත කෙනෙක් තමා සනත් නන්දසිරි,, එයා ආවා මට මතක හැටියට 1992 විතර  පේරාදෙනියේ සංගීත රාත්‍රියකට , ඒක තිබුනේ වලේ නෙවේ ජිම් එකේ.විස්ස විද්දියාල ක්‍රීඩා සංගමේට ආධාර කරන්න  සංගීතේ පැවත්තුවේ. ඒකට ආවා අමරදේව ලොක්කා , සනත් මල්කාන්ති ජෝඩුව,නිරංජලා , ඇතුලු තව ප්‍රසිද්ධ ගායක ගායිකාවෝ මහ ගොඩක්.

අපි සැට් වෙලාම හිටියේ සනත් නන්දසිරිට හූ කියන්න. මොකද මිනිහා ඒ දවස් වල ප්‍රේමදාසගේ ගම් උදාවේ සිංදු කියන්න යනවා. පට්ට යූ ඇන්,පී කාරයා . අපිට ප්‍රේමදාස පෙන්නන්ඩ බෑනේ.ඒක නිසා අපිට සනත් නන්දසිරිත් පෙන්නන්ඩ බෑ ( ඒ දවස්වල)

මුල්ම සිංදුව අමරදේව මාස්ටර්ගෙන් සරස්වති,, ජිම් එකම මීයට පිම්බා වගේ අහගෙන හිටියා. අංක දෙක අමරදේව , සනත් නන්දසිරි ජෝඩුව කියන  ජගදා නන්දන මහා කාරුණික ... පටන් ගන්න කොට  පොඩි පොඩි සද්ද කීපයක් ආවත් ඒක මැකිලා ගියා ජිම් එක අඳුරේ නිස්සබ්ද්ද තාවේ.ඊට පස්සේ අමරදේව සිංදු කීපයක් කිව්වා නෝ සද්ද , ඉවර උනාම පැලෙන්න අත්පුඩි විසිල්. නැගලා යනවා සාජ්ජේ/

ඔන්න ඊලඟට ආපි සනත් නන්දසිරි .. හුකෑස් කියපි , මිනිහා ස්ටේජ් එකට නගින කොටම   එකයි දෙකයි තුනයි 

හූඌඌඌඌඌඌඌඌඌ  ....

එකම හූවයි , මිනිහා ටිකක් වෙලා බැලුවා නවතියිද කියලා මොන.. බැස්සා ස්ටේජ් එකෙන්.. සංවිධායකයෝ එක්ක ක‍ටුකු‍ටු ගාලා ආයෙත් ආපි , මේ සැරේ මල්කාන්තිත් එක්ක. මොන යුග ගීද? ආයෙත් ජිම් එක දෙදරන්න හූව ආවට වඩා වේගෙන් බැස්සා ගියා ස්ටේජ් එක පිටිපස්සට .. මිනිහා තරහේ වෙව්ලනවා . .

 මයේ හිතේ ඒ කාලෙත් මිනිහා සෞන්දර්ය විශ්ව විද්‍යාලේ ප්‍රොෆෙසර් ද කොහෙද.. එව්වා අපිට වැඩක් නෑ ,, මල්කාන්ති හෝ ගාලා අඬනවා, ඇයි මල්ලිලා අපිට මෙහෙම කලේ කිය කියා.

ඔය අස්සේ වික්ටර් රත්නායකගේ පුතා ජයන්ත ඇවිත් කියනවා මරු වැඩේ  අපේ තාත්තටත් ඔය පාඩම දෙන්න තිබුනා නම් හොඳයි එයත් යනවනේ ගම් උදා ගානේ කියලා. හැබැයි එදා සංගීතෙට වික්ටර් ආවේ නෑ..ඒ නිසා බේරුනා
.
ඔව්වා ඔහොම තමා හූ කියනවා .ඒක පේරාදෙනියේ ජාතික ගීය වගේ. හැබැයි ඉතින් කිස් කරන එකට විරුද්ඩ වෙලා හූ කියපු එකනම් වැරදි. මොකද හවහට හවහට ඔය කවුරුත් ජිම් එක පිටිපස්සෙ, වූස් එකේ  ආර්ට්   තියටරේ පිටිපස්සේ ගල් කනු අතරේ , සයන්ස් බිල්ඩින් පිටිපස්සේ ආදි හැම තැනම කටවල් කනවා ..

ඉතින්  හූ කිව්වේ මොකටද කියලා හිතා ගන්නත් අමාරුයි. සමහර විට අපි තවම හැබෑ සිද්දිය  දන්නේ නැතුව ඇති . ඔය කුණු වලින් ගැහුවය, ගල් ගැහුවය වගේ කතා නම් ටිකක් විශ්වාස කරන්නත් අමාරුයි. හැබැයි එලියේ සමාජේ වගේම ඇතුලෙත් ඉන්නවා සංස්කෘතික උණකාරයෝ, ටිකක්, ඔය සංඝාවාසේ පැත්තෙත් ඇති . ඉන් හුඟ දෙනා අර ජනප්‍රිය යෙදුමෙන් කියනවානම් බයියෝ ,නොවේ නම් බයියන්ගේ අනුගාමිකයෝ. විශේෂයෙන් ඔය රාවණා බලය, බොදු බලය වගේ ඒවා.

 ඕක විස්ස විජ්ජාලේ ඇතුලේ විතරක් තියෙන ප්‍රශ්නයක් නෙවේ. ඕවා විස්ස විජ්ජාලෙට ආවේත් මේ සමාජෙන්මයි . මොකද ඒකෙම උන් තමා  විස්ස විද්දියාලෙට එන්නෙත්. පොදු සමාජේ මති මතාන්තර, කසල කුණු ඔක්කොම ඇඟේ තවරගෙන , ඒ විෂ බීජත් එක්කයි උන් එන්නේ. සමහරු ඒවායින් ඇතුලේදී  ගැලවෙනවා, සමහරු ඒ  පසුගාමි චින්තනයම ,ඊනියා සිංහල බෞද්ධ,  වික්ටෝරියානු  කුහක මතවාදත් එක්කම  එලියට  යනවා


උන් හිතන්නේ කිස් කරාම සංස්කෘතිය සුන්නත් දූලි වෙනවා කියලා , ඒක මහා අසභ්‍ය දෙයක් ය කියන්නේ . හැබයි මිනිස්සු මරලා පාරවල් ගානේ දානකොට , අතුරුදහන් කොරනකොට , පොඩි උන්ගේ මොල කෑලි මොටාර් වලින් සුනු විසුනු වෙනකොට ඒක සභ්‍යයි. හොඳයි.ඒක කිරිබත් කන්න ඕනෑ වැඩක්.

ඒක නිසා පේරාදෙනියේ විතරක් නෙවේ සමාජයේ ඉන්න ප්‍රගතිශීලි  හා එසේ කියාගන්න සියලු දෙනා එකතු වෙලා මේ ඊනියා සදාචාරවාදි ‍රැල්ල,කඩලා බිඳලා දාන්න ඕනෑ. එහෙම නො උනොත් හෙට තමන්ගේ ගෑනි එක්ක නිදන කාමරේ ඉන්න එකත් මේ අපතයෝ තහන්ම් කරනවා ෂුවර්.

9 comments:

  1. සනත් නන්දසිරිට හු කීමෙන් ලැබුණු දෙයක් තියෙනවද. ඒ මනුස්සයාගේ දේශපාලනයට අකමැති නම් ඔහුට ඒ ප්‍රසංගයට ආරාධනා නොකර ඉන්න තිබුනා. ගෙදරට එන්න කියල මනුස්සයෙකුට හු කියන්නේ ලංකාවේ විතරයි. ඔය හු කියපු කීපදෙනෙක් ගෙන් මා ඇසුව ඇයි තුන් වෙනි සින්දුව කියනකොට හු කියන්න ගත්තේ කියා. එතකොට කිව්වා පලවෙනි සින්දුව නිර්වාන ස්වර්ණ, දෙවෙනි සින්දුව අම්ම ගැන එකක් ඒ නිසා තුන් වෙනි සින්දුව කියනකොට තමයි හු කියන්න වෙලාව හම්බවුනේ කියල. ඒ කතාකරන්නේ 'අම්මට හු...වා' කියල junior batches වල ළමයින්ව rag කරන අය. එතකොට මල්කාන්ති නන්දසිරි අඬන කොට ඒ අම්මා කෙනෙක් කියල හිතුනේ නැද්ද. සනත් නන්දසිරිගේ පුද්ගලික දේවල් පැත්තක තියමු. ඔහු සංගීතයට කරලා තියෙන සේවයෙන් කොටසක් වත් ඔය හු කියපු අය කී දෙනෙක් කරලා තියෙනවද. Kaushi කරලා තියෙන සේවය නාට්‍ය අංශයෙන් ඔවුන් කීදෙනෙක් කරලා තියෙනවද. අපි නොදන්න පේරා uni එක. රෑ හයෙන් පස්සේ gym එක, AT එක, සමහර faculty buildings පළාතේ කිසි කෙනෙකුට යන්න බැහැ adults only scenes නොදැක. උදේට හම්බවෙන condoms ප්‍රමාණය අතු පතු ගැන සේවකයින්ගෙන් ඇහුවොත් කියයි. හන්තාන පැත්තේ outside couple එකක් (uni students නොවුන) හිටිය කියල දවසක් ඔවුන්ට අල්ලාගෙන අම්බානක ගැහුවා මුළු ලෝකෙම හදන්න යනවා තමන් තමයි ලොක්කෝ කියල හිතාගෙන.

    ReplyDelete
    Replies
    1. මෙහෙමනේ පුතා, සනත් නන්දසිරි දේශපාලකයො පස්සෙ ගිය නිසා හූ කීව බව එයා දැනගත්තහම එයාට තීරණයක් ගන්න වෙනවා. චෙරි උයනෙ කේස් එක මටත් මතකයි. ඒක බලා ඉන්න බැරි තරම් කම්මැලි හිතෙන විදිහට හදල තිබුනු නාට්‍යයක්. රංජිත් ධර්මකීර්ති තේරුම්ගත්තනම් ඒක පොඩි සංස්තරණයක් කරන්න තිබුනා.
      මෙදා පාර කිස් හූව තමයි ගැටළුව. අපි ඇතුළාන්තය හරියටම දන්නෙ නෑ. හු කිව්වෙ කිස් එකකට නම් ඒක වැරදියි.
      හැබැයි තව එකක් මතක තියාගන්න ඕනැ. සරච්චන්ද්‍ර ලොක්කගෙ කිසිම නාට්‍යයක නළුවන් දෙදෙනෙකු අතර ශරීර ස්පර්ශයක් නෑ. වලේ උපත සරච්චන්ද්‍ර බව කියන්න ඕනැ නැහැනෙ.

      Delete
    2. ඉතාමත් පැහැදිලිව ලැබුණු දෙයක් තියෙනවා, ඒ කාලේ තිබ්බ යූ ඇන් පී ආන්ඩුවට දෙන්න ඕනෑ පනිවිඩේ අපි දුන්නා, තොපිට මේක ඇතුලට එන්න වරම් නෑ කියලා ආවොත් උඹලාට වෙන්නෙත් ඕක තමා කියලා .. අපිට්ට ඒ ඇති. අනික සනත් නන්දසිරි ගේ සංගීත සේවය අපි දන්නවා . ඒ උනාට ඊට වඩා අපි හිතුවේ , සහ අදත් හිතන්නේ , රටේ තරුන තරුනියෝ 60000ක් මරපු ආන්ඩුවට පක්කලි කම් කරපු එක ගැන. ඔයා නිකම් පඬියා වෙලා කෞශල්‍යා ගැන කතා කරන්න එපා, මම කියලා තියෙන්නෙත් ඒ ගැන ඔයා කියපු දේම තමා . මොලේ කොලොප්පම් කරගන්නේ නතිව කියවල බලන්න. ඒක වැරදියි ,,,මේ බොරු සදාචාර වාදියො පරදවන්න ඕනෑ කියන එක නෙවේද ලියලා තියෙන්නේ කියලා, ඔයාගේ අමාරුව වෙන එකක්. සමහර විට ඒ ක මොකක් හරි ඊරිසියාවක් , හිතේ අමාරුවක් වෙන්න ඇති. ඒකට අපි මක් කරන්නද?

      Delete
    3. "තොපිට මේක ඇතුලට එන්න වරම් නෑ කියලා ආවොත් උඹලාට වෙන්නෙත් ඕක තමා කියලා"
      එතකොට ඇතුලට අවේ ආරාධනා කරපු නිසා නෙවෙයිද බලෙන් ආවද. අනිත් එක ඔය හු කියපු එක්කෙනෙක් වත් වැරදිලා වත් දේශපාලකයෝ පස්සේ යන්න නැතුව ඇති නේද.

      "මම කියලා තියෙන්නෙත් ඒ ගැන ඔයා කියපු දේම තමා"
      ඉතින් කවුද නැහැයි කිව්වේ මම ඒ කෑල්ල ලිව්වේ එකට support එකට තමයි. මහා ලොකුවට blog ලියනවා comment එකට සංයමයෙන් උත්තරයක් දෙන්න වත් දන්නේ නැහැ.

      Delete
  2. මෙයාලම නේ පොඩි උන් යන එන නිදහ්ස් චතුරස්සරේ තොල දාන්න දෙන්නේ නැතෙයි කියාලා අර සික්කා මරාගෙන කන්න ගියේ... ඉතින් 8 පාස් ඒ සික්කගෙයි.. ඩිග්‍රී ගහන්න ආපු උන්ගෙයි කිසි වෙන්සක් නෑ කියලයි මට නම් හිතෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම හූ කිව්වෙ කිස් කරපු නිසාද?

      Delete
  3. මේ සිද්ධිය හරහා අවිශිබමයට සහ එමගින් පෙ.ස.පක්ෂයට මඩ ගසා ඇරියස් කවර් කිරීමට සමහරු පෙළඹීම පුදුමයක් නොවේ.

    ReplyDelete
    Replies
    1. වලේ හිටපු කෙනෙක් පොඩ්ඩක් සිද්ධිය පැහැදිළි කළානම් වටිනව. අපි ඇත්ත සිද්දිය දන්නෙ නැහැනෙ.

      Delete
  4. නිදහස් චින්තනයක් තියෙන්න ඕනෙ සරසවිවල පිට සමාජයටත් වඩා වැඩියෙන් සිංහල බවුද්ද වික්ටෝරියානු සංස්කෘතිය තියනව වගේ දැන්.

    ReplyDelete