Saturday, April 15, 2017

නව අවුරුදු දා ඝාතනය




මීතොටමුල්ලේ කුණු කන්ද කඩා වැටී සිදු වූ ඛේදවාචකය අනතුරක් නොවේ. එය මේ රටේ අමන පාලකයින් විසින්  සිතා මතා කරන ලද මිනීමැරුමකි. පසුගිය වසර 60 පුරාවටම අප රට පාලනය කර ඇත්තේ රටෙ කුණු ටික නිවැරදිව කළමණාකරණය කර ගත නොහැකි අමනයන් පිරිසකි. 

රට පුරා ඇති පලාත් පාලන ආයතන යැයි කියනු ලබන හොර ගුහා මගින් කරනු ලබන්නේ ප්‍රදේශයේ ජනයා පොලිතින් මලුවලට අසුරා දෙනු ලබන කුණු කොහේ හෝ හිස් ඉඩමක ගොඩ ගැසීමය.කුණු ප්‍රතිචක්‍රීයකරණය ගැන මෙම පාලකයින් අසාවත් නැති ලෙසකි. ඔවුන් බලන්නේ මෙම කුණු කන්දෙනුත් කොපමණ ලාභයක් ලබා ගත හැකිද යන්න පමණි. මෙම කුණු කඳු ප්‍රතිචක්‍රීයකරණය  කිරීමට ඉදිරිපත් වූ කියුබානු සමාගමක් පලවා හැරියේ ඒ නිසාය.

 මිනීකඳු මතින් හෝ ලාභය .... ඔවුන් සොයන්නේ එයයි. දැන් සිදුව ඇත්තේද එයයි. පාලක දනපතියන්ගේ අසීමිත කෑදරකම හමුවේ මියදෙමින් සිටින මිනිසුන් කියන්නේ එයයි.

මෙතරම් විනාශයකින් පසුව වත් ජනතාව අවදි නොවන්නේ නම් එවන් ජනතාවක් කුමටද? බ්‍රෙෂ්ට් ලියූ පරිදි තමන්ගේ සහෝදරයා යක්ෂයෙක් අවුත් ගිල දමන විට නැගී නොසිටින්නේ නම් එවන් ගම් විනාශ වී යා යුතුය.

මෙම කිසිම පාලනයක් නැති, අබ්බගාත හා නූගත් මෝඩයින් විසින් පාලනය කරනු ලබන පළාත් පාලන ආයතන ඔබගේ ගමේ /පලාතේ කුණු පිරවීමට උත්සාහ කරන්නේ නම් එයට එරෙහිව නැගී සිටින්න. ඔබේ ගම තවත් මීතොටමුල්ලක්ම් කිරීමට ඉඩ දෙන්න එපා. සංවිධානාත්මකව මෙම කුණු ගොඩ ගසන්නන් පලවා හරීන්න. අඩුම තරමෙන් එවිටවත් ඔවුන් වඩාත් සාධනීය විසඳුම් කරා යොමු වේ දැයි බලමු.

ඔබ විරෝධතා දක්වන විට පාලකයින් මීතොටමුල්ලේ දී කළ පරිදිම විරෝධතා කරුවන්ගේ විස්තර, සොයමින් ඔවුන්ව බිය කිරීමට සැරසෙනු ඇත. එහෙත් ඔවුන්ට බිය වී සිටින තාක් කල් අපට සිදු වන්නේ ඔවුන්ගේ කුණු වලට යට වී මිය යාමයට. එම නිසා  අප කුණු ගොඩවලට යට වී මිය යනවාද එයට එරෙහිව සටන් වදිනවාද යන්න ‍තෝරා ගත යුතු මොහොත මෙයයි..
සටහන- මිනිසුන් සිය ගණනක් කුණු කන්දකට යට වී මිය දී සිටිද්දී අප රටේ රූපවාහිණි නාලිකා , රජයේ නාලිකා ද ඇතුලු සියල්ල, නව අවුරුදු සිරිය විඳිමින් සිටී. ඒ මියගිය වුන් මිනිසුන් නොවන්නේ යැයි ඔවුන් සිතන නිසා ද? ඒ මිනිස් කසලද?

1 comment:

  1. ඔය අමනයෝ ඔය තැන් වලට ගිහින් තියෙන්නේ ඒ වගේම​ අමන හැතිකරයගේ වටිනා ඡන්දයෙන්​.

    ReplyDelete